HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

දවස් හැට අටෙන් විද්‍යාගාරයක් හදුපු හරි පුදුම ඉස්කෝලේ

‘තරුණි’ පත්තරේ අපූරු විශේෂාංගයක් පළ වුණා. ඒ විශේෂාංගයෙන් තමයි, ඔය සිරස්තලය උපුටා ගත්තෙ. ‘තරුණි’ පත්තරයට ඒ ලිපිය ලියා තිබුණේ දුමින්ද කාරියවසම්. ඔහු ඒ ලිපිය ආරම්භ කර තිබුණු හැටි හරිම අපූරුයි. ජපානයේ පළ වූ ළමා පොත් අතරින් වැඩි ම අළෙවියක් වාර්තා කළ ජපන් ජාතික තෙත්සුකෝ කුරොයනාගි ගේ ‘ලිට්ල් ගර්ල් ඇට් ද වින්ඩෝ’ (The little girl at the Window) නම් පොතේ ආ උපුටනයකින්. මේ පොත ඉංගිරිසියෙන් සිංහලට පෙරළා තිබුණේ දිවංගත ලේඛක ලීලානන්ද ගමාච්චි විසින්, ‘හරි පුදුම ඉස්කෝලේ’ යන නමින්. (ඒ පරිවර්තනය හා සම්පූර්ණ ලිපිය සඳහා 2021.12.06 ‘තරුණි’ බලන්න.) ඒත් මෙහි ඇති පරිවර්තන කොටස මගේ එකක්. 

විද්‍යාගාරය පරිත්‍යාගය කළ දා තිලක් ගමගේ මහතා හා මහත්මිය අතින් සිසු දරුදැරියන්ට 
පොත් පත් ප්‍රදානයක් ද සිදු වුණා. ඉන්දිකා තෙන්නකෝන් විදුහල්පතිනිය ද ඊට එක් වුණා.

‘සිසිර කාලයේ පාසල් නිවාඩුවෙන් පසු සිසුහු පාසල වෙත පැමිණියහ. නව විස්මිත දෙයක් දැකීමෙන් සතුටට පත් වූ ඔවූහූ උද්දාමයෙන් කෑ ගැසූහ. පාසල් කාමර පැවැත්වූ මැදිරි පෙළට ඉදිරියෙන් රැස්වීම ශාලාව අසල මල්පාත්තියට ඔබ්බෙන් පිහිටි අලුත් මැදිරියක් තිබුණේ ය. ඔවුන් නො සිටි දවස්වල එය පුස්තකාලයක් බවට පත් වී තිබුණේ ය.’ ඉහත කී අදහස රැගත් ‘හරි පුදුම ඉස්කෝලේ’ සිංහල පොතේ එන ඡේදයකින් තමයි. දුමින්ද ගේ ලිපිය පටන් ගෙන තිබුණේ. 

තමා ලියන්නට අරමුණු කර ගත් විශේෂාංගයට ප්‍රවේශයක් ලෙස ළමයින් අතර ජනප්‍රිය පොතකින් උපුටනයක් යොදා ගැනීම පැසසිය යුතු කරුණක්. එයින් දෙයාකාරයක සේවාවක් ඉටු වෙනවා. එකක් ඒ පොත කියවන්න ළමයින් පෙලඹවීම, අනෙක තමන්ගේ ලිපිය කියවන්නට පාඨකයා පෙලඹවීම. ඒ කරුණු දෙක ම හොඳින් ඉටු වුණා. සෑම ළමයකු විසින් ම කියවියයුතු මේ යුගයේ පළ වූ විශිෂ්ට පොතක් කෙරෙහි මෙවැනි ලිපියකින් පාසල් සිසු දරුදැරියන්ගේ අවධානය යොමු කරවීම ඉතා හොඳ දෙයක්. දුමින්දගේ ඒ ලිපියෙන් තව ටිකක් කියවමු. 

‘අපට ද එවැනි ම ඉස්කෝලයක් පසුගිය දිනෙක හමු වූයේ පොළොන්නරුවෙනි. ඒ හිඟුරක්ගොඩ කලාපයේ ඇලහැර කොට්ඨාසයේ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලයයි. මේ පාසලේ දරුවන්ට නව පාසල් වාරය දකින්න ලැබුණේ ජපානයේ හරි පුදුම ඉස්කෝලේ මෙන් පුස්තකාලයක් නොවේ. ඔවුන්ට ඊට වඩා වටිනා තෑග්ගක් ලැබි තිබුණි. ඒ අංග සම්පූර්ණ පාසල් විද්‍යාගාරයකි. මේ විද්‍යාගාරය ඔවුන්ට හිමිවන්නේ රජයෙන් හෝ වෙනත් ආයතනයකින් කළ පරිත්‍යාගයක් ලෙස නොවීම විශේෂ සිද්ධියකි.’ දුමින්ද කියනවා. 

‘එය විශේෂිත සිද්ධියකටත් වඩා සුවිශේෂිතය. මේ උතුම් පරිත්‍යාගය කරන්නට පිං සිතුවිලි පහළ වී තිබුණේ දරුවන්ගේ නැණ පහන් දල්වන්නට හම්බ කර ඉතිරි කරගත් විශ්‍රාම වැටුපෙන් වීම සියල්ලට ම වඩා විශිෂ්ට දෙයකි. ඒ උතුම් පිං සිතුවිල්ල අර්ථ ගැන්වූයේ විශ්‍රාමික පාඨශාලාචාර්ය තිලක් ගමගේ සහ සෝමලතා ගමගේ යන විද්‍යා ගුරුවරුන් දෙපළයි.’ එහි තවදුරටත් සඳහන් වුණා. 

කෝවිඩ් වසංගතය නිසා වසර දෙකකට ආසන්න කලක් වසා තිබූ නිසා දිවයින පුරා ළමයින් පුල පුලා බලා සිටියේ යළි පාසල් යන්නයි. මේ සියඔලාවේ ළමයින්ගෙත් ඒ ආසාව මඳක්වත් අඩුවෙලා තිබුණේ නෑ. ඒත් දිවයිනේ අනිත් පාසල් ළමුන්ට නොලැබුණු මවිත විය හැකි අත්දැකීමක් ඔවුන්ට පාසල් ආ මොහොතේ ම ලබා ගත හැකි වුණා. ඒ තමා ඔවුන් ලද මේ විස්මිත විද්‍යාගාරය. 

ඒ පිළිබඳව තිලක් ගමගේ මහතා දුමින්ද සමඟ තවදුරටත් මෙසේ කියා තිබුණා. 

‘මේ සඳහා අපට වැය වුණේ ලක්ෂ පහළොවක විතර මුදලක්. ශ්‍රමදායකත්වය ඊට වඩා ලැබුණා. ඇත්තට ම ලක්ෂ 40-50ක වැඩක් තමයි මේ මුදලින් කළේ. අපි අංගසම්පූර්ණ විද්‍යාගාරයක් සහ විද්‍යා උපකරණ ලබා දුන්නා. ඇමරිකාවේ කැලි‍ෆෝනියාවේ තිස්ස සහ මල්කාන්ති වි‍ජේසේකර යුවළ මේ ගැන දැනගත් විගස හරිම කැමැත්තෙන් අවශ්‍ය විද්‍යා උපකරණ ලබා දීමට කටයුතු කළා. කොරෝනා කාලේ දහසකුත් කරදර මැද දවස් 68ක් වැනි කෙටි කාලයකින් තමයි, මේක නිම කරන්න හැකි වුණේත ඒ හැමදෙනාගෙම කැපවීම නිසයි. කලින් වැඩි නිම කර තිබුණත් කොරෝනා වසංගතය නිසා වසා තිබූ පාසල් විවෘත කළ වහා ම අපට මේකත් විවෘත කරන්න පුලුවන් වීම ගැන අප සතුටු වෙනවා.’ 


විද්‍යා ගුරුවරුන් වශයෙන් දිවයිනේ නොයෙක් පළාත්වල සේවය කරමින් සිසු දරුදැරියන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණික ශිල්පීන් කරන්නට මග පෙන්වූ ඔවුන් විශ්‍රාම ලබා සිටියදීත් මතුපරපුරටත් ඒ සේවය වෙනත් අයුරකින් කරන්නට සිතා පරිත්‍යාග කළ මේ විද්‍යාගාරය අනෙක් පරිත්‍යාගශීලීන්ටත් ආදර්ශයක්. 

පොළොන්නරුවේ හිඟුරක්ගොඩ කලාපයේ ඇළහැර කොට්ඨාසයේ සියඹලාව කනිෂ්ඨ විද්‍යාලය මේ කලාපයේ ඇති දුෂ්කර පාසලක්. දරුදැරියන් 425 දෙනකු ඉන්නා මෙම පාසලේ භෞතික සම්පත් බෙහෙවින් අඩු වුවද එහි ළමයින් අධ්‍යාපනය අතින් උසස් දස්කම් පානවා. ඒ නිසා මේ විද්‍යාගාරය ඔවුන්ගේ විදු දැනුම වර්ධනය කර ගන්නට ලොකු උදව්වක් වේවි. මේ දරුදැරියන්ගේ නෙත් පාදන්න විශාල කැපවීමකින් කටයුතු කරන මෙහි විදුහල්පතිනිය ඉන්දිකා තෙන්නකෝන් ඇතුළු ගුරුමණ්ඩලයට මේ විද්‍යාගාරය ශක්තියක් වනු නො අනුමානයි. 

‘අපේ පාසල ආරම්භ වුණේ 1963 වසරෙදියි. ඇත්තට ම මේ පාසලේ භෞතික සම්පත් අඩු වුණාට අධ්‍යාපනය අතින් ඇළහැර කොට්ඨාසයේ ඉදිරියෙන් ම සිටින පාසලක්...දරුවන් මේ පාසලේ ඉගෙනුම ලබන්නේ දුෂ්කරතා අඩුපාඩු රැසක් මැදයි. ඇත්තට ම මේ පාසලේ සියලුම ගොඩනැඟිලි පරණයි. අපට මේ අලුතින් ලැබුණු විද්‍යාගාරයට අමතරව තවත් අඩුපාඩු රැසක් තියෙනවා. අපට සෞන්දර්යය එකකයක් නෑ. ක්‍රීඩා පිටිය පුළුල් කර ක්‍රීඩාගාරයක් තනා ගැනීම අවශ්‍යයි. ගෘහ විද්‍යාගාරයක් නෑ. පරිගණකාගාරයක් තිබුණාට පරණ පරිගණක තුනක් විතරයි තියෙන්නෙ. පුස්තකාල ගොඩනැඟිල්ලක් තිබ්බට පොත් අඩුයි. මේ ආදී භෞතික සම්පත් ලැබුණොත් අපට තව දුර ගමනක් යන්න පුළුවන් කියලා මට පොකු විශ්වාසයක් තියෙනවා.’ විදුහල්පතිනිය වැඩිදුරටත් කියනවා. 

අපේ හිතවත් තිලක් ගමගේ මහතා ‘මල්කැකුළු’ ‍බ්ලොග් එකටත් විද්‍යා විශේෂාංග සපයන බව ඔබ දන්නවා. අපේ ජනප්‍රිය විශේෂාංගයක් වූ ‘විදු වදන් හැදුණු හැටි’ තුළින් විද්‍යාව ගැන ඉගෙන ගන්නා අයට පමණක් නොව අප හැමදෙනකුම දැන සිටිය යුතු කරුණු සරලව කියා දෙමින් අපගේ ඥාන දාන ව්‍යාපෘතියට නිබඳව හවුල් වෙනවා. ‘මල් කැකුළු’වලට ලොකු ශක්තියක් වී සිටින එතුමාටත් මැතිනියටත් තවදුරටත් මෙවන් කටයුතුවල යෙදෙන්නට හේතු වාසනා වේවායි ‘මල් කැකුළු’ තුළින් අපේ සුබ පැතුම්! 

- පර්සි ජයමාන්න 

Post a Comment

0 Comments